ජීවය පහළ වීම 01 - බ්‍රහ්ම කල්පික ජීවීහු මිහි තලයේ පහළ වෙති

  බ්‍රහ්ම කල්පික ජීවීහු මිහි තලයේ පහළ වෙති  


කල්ප විනාශය වන අවස්ථාවේ දී නියත මිත්‍යා දෘෂ්ඨිකයෝ අන්තරීක්ෂ නරකයේ පහළ වන අතර සෙසු අය ආභස්සර බඹ තලයේ ඕපපාතික උප්පත්තියක් ලබති. එහි ඔවුන් සිටින්නේ සියුම් කයක් සහිත ව ආකාශචාරී ව ය. ප්‍රීතිය ඔවුන් ගේ ආහාරය. එහි දී ඔවුහු ඉතාමත් සැපවත් දිවියක් ගත කරති. ඔවුන්ගේ මනස ප්‍රභාශ්වරයි. ඒ නිසා ස්වයංප්‍රභා ආලෝකයක් ඔවුන් ගෙන් උත්පාදනය වෙයි.
 
කල්ප විනාශයෙන් විනාශ් වූ මේ පෘතුවි ගෝලය කාලයා ගේ ඇවෑමෙන්  නැවත ක්‍රමානුකූල ව සැකසෙයි. එසේ ජීවයක් පැවතිය හැකි මට්ටමට සැකසුන විට ආභස්සර බ්‍රහ්ම ලෝකයේ ආයුෂ අවසන් වූ වූ බ්‍රහ්ම කල්පික ජීවීහු ඕපපාතික ව මෙලොව පහළ වෙති. මෙහි දී ද ඔවුන් සිටින්නේ ආකාශචාරී ව යි. එසේ ම ප්‍රීතිය තමයි ආහාරය.

 මේ කාලේ දී ඉර හඳ ආලෝකයක් නැහැ. ඒ නිසා ම දිවා රාත්‍රියකුත් නැහැ. එහෙත් බ්‍රහ්ම  කල්පික ජීවීන් ගේ  ස්වයංප්‍රභා ආලෝකය නිසා අදුරක් ද නැහැ. එසේ ම මේ ජීවීන් අතර ලිංග භේදයක් ද නැහැ. සියල්ල ම එක සමානයි. එසේ ම දස අකුසලයෙන් තොර ව සිටින නිසා රාග, ද්වේශ, මෝහාදී කෙලෙස් සිතිවිලි ඔවුන් තුළ නැහැ. සිත හරිම පැහැපත් වගේ ම උසස්. මේ කාලයේ දී පෘථිවි තලය සම්පූර්ණයෙන්ම ජලයෙන් යුක්ත යි. 

කලක් ගත වන විට මේ මතු පිට රස පොළොව හට ගනියි. රස පොළොව යනු කිරි උණු කර නිවීමේ දී ඇතිවන යොදය ට සමාන වූ දෙයක්. මේවා ඉතාමත් සුගන්ධවත්; ඒ වගේ ම මිහිරියි, රසවත්. ආකාශචාරී ව සිටි එක්තරා ලොල් ස්වභාවයක් ඇති බ්‍රහ්ම කල්පික ජීවියෙක් තුළ මේ රස පොළොව කෑමට ආශාවක් උපදිත්. ඉතාමත ම මිහිරි වූ ඒ රස පොළොවෙන් ස්වල්පයක් අනුභව කළ ඔහු තුළ තෘෂ්ණාව පහළ විය. ඔහු ව අනුගමනය කරමින් අනෙක් අයත් රස පොළොව කෑමට පටන් ගත් හ. මේ ආකාරයට කෙලෙස් සිතිවිලිවලින් තොර ව සිටි බ්‍රහ්ම කල්පික ජීවීන් තුළ රස පොළොවට ලොල් වීමෙන් තණ්හාව, ආශාව වැනි කෙලෙස් සිතිවිලි ක්‍රමයෙන් පහළ වියමේ නිසා ඔවුන් ගේ ස්වයංප්‍රභා ආලෝකය අතුරුදන් විය. එසේ වූ කල ලොවට ආලෝකය දෙන්න හිරු සඳු පහළ විය. මේ නිසා රෑ දවල් ඇති විය; ඍතු පහළ විය.

_______________________________________
මූලාශ්‍රය
අග්ගඤ්ඤ සූත්‍රය. දීඝ නිකාය -3. සූත්‍ර පිටකය

Post a Comment

0 Comments