මහාවංසයෙන් එහා - 05 -මහාවංසය ප්‍රෞඩ ජාතිය දාමරික ජාතියක් බවට පත් කරයි

 


මහාවංස විස්තරය අනුව තම නැගණිය සරණපාවාගයත් සිංහබාහු නැවත තමන් සිටි වනයට ගොස් එහි නුවරක් ඉදිකොට එහි රජ විය. මේ විවාහයෙන් සිංහසීවලී වරකට නිවුන් දරුවන් දෙදෙනා බැගින් දහසය වතාවක් දරුවන් තිස් දෙදෙනෙකු බිහි කළා ය. ඔවුන්ගෙන් වැඩිමලා විජය නම් විය. විජය විසමාචාර ගති ඇත්තෙකි. තමා ගේ ගතිගුණවලට ම සරිලන පිරිසක් ද පිරිවරා ගත් හෙතෙම නානාවිධ දාමරිකකම් කරන්නට විය.රජුට ද පාලනය කරගත නොහැකි වූ මේ දාමරික කණ්ඩායම අවසානයේ රජු විසින් රටින් පිටුවහල් කරන ලදු ව අහඹු ලෙස ලක්දිවට පැමිණියහ.

මේ සිදුවීම තවදුරටත් විස්තර කරන මහාවංසය මෙහි දී විජය කුවේණිය නම් යක්ෂ ස්ත්‍රියක මුණ ගැසී ඇය ව පාවා ගෙන ඇය ගේ ආධාරයෙන් එතෙක් ලක්දිව රජ කළ පාලකයින් ඝාතනය කොට රාජ්‍යත්වය පැහැර ගැනීම දක්වා කතාව ගොතා ඇත.

මේ සිදුවීම දාමය තුළ අභව්‍ය සේ සැලකිය හැකි ක්‍රියාකාරකම් කීපයක් මතු කරගත හැකි ය.
 
1. විජය ඇතුළු හත්සියයක පිරිස සහ ඔවුන් ගේ භාර්යාවන් හා දරුවන් නැව්ගතකොට රටින් පිටුවහල් කිරීම
 මහාවංස විස්තරය අනුව විජය ඇතුළු හත්සියයක පිරිස එක් නැවක නංවා ඇත. හත්සියයක් යනු විශාල       පිරිසකි. මෙපමණ පිරිසක් නැංවීමට තරම් විශාල නෞකා එකල තිබුණේ ද යන්න ගැටලු සහගතයි.

2. විජය ගේ පිරිස කුවේණිය විසින් පැහැරගනු ලැබීම
බීමට ජලය සොයා ගිය අය අල්ලා කුවේණිය විසින් සිරගත කරනු ලැබී ය. මෙහි දී මහාවංස විස්තරයේ අඩංගු වන්නේ එක අයෙක් නොපැමිණි විට ඔහු ව සොයා තවත් අයෙක් ගිය බවත්, මෙසේ 699 වතාවක් එකා බැගින් එකා  ගිය පසු හත්සියවෙනි වතාවට ඔවුන් සොයා විජය ගිය බවත් ය.
 

මේ ක්‍රියා දාමය එනම්, එක අයෙකු වතුර සෙවීම පිණිස පිටත් ව ඔහු නැවත නොපැමිණි විට ඔහු සොයා තවත් අයෙකු යෑම කියන සිදුවීම සිදුවීමට අවම වශයෙන් විනාඩි දහයක් ගතවූයේ නම් විජය ගේ වාරය පැමිණෙන විට කාලය විනාඩි 7000ක් ගත වී තිබිය යුතු ය. එනම් පැය116කට වඩා වැඩි කාලයකි. මේ ක්‍රියා දාමය අඛණ්ඩ ව දිවා රාත්‍රී සිදුවූයේ යැ යි උපකල්පණය කළහොත්  දිනවලින් නම් දින පහකට ආසන්න කාලයකි. දින පහකට අධික කාලයක් මිනිසෙකුට වතුර නැති ව සිටිය නොහැක. එසේ නම් විජය තම සහායකයින් බීමට ජලය සොයාගෙන එනතෙක්  දින පහකට අධික කාලයක් මුහුදු වෙරළේ ගත කළේ ද?

 
  3. විජය යක්ෂයින් ඝාතනය කිරීම
කුවේණිය සමග එකතු වූ විජය හට රාත්‍රියේ ඇසුණු තූර්යනාදය පිළිබඳ විමසීමේ දී එය සිරසවත්තු පුර යක්ෂයින් ගේ විවාහ උත්සවයක් නිමිත්තෙන් නැගෙන තූර්ය නාදයක් බවත්, යක්ෂයින් සමූලඝාතනයට මෙය කදිම අවස්ථාව බවත් කුවේණිය පවසන්නී ය. මහාවංසය මේ හෙළදිව යක්ෂයින් විස්තර කරන්නේ මිනීමස් බුදින, අදෘශ්‍යමාන, විවිධ වෙස් ගත හැකි පිරිසකි ලෙසටයි. අමනුෂ්‍ය වූ අදෘෂ්‍යමාන මේ යක්ෂයින් විජය විසින් ඝාතනය කරනු ලබන්නේ කුවේණිය ගේ මගපෙන්වීම අනුව යි. මහාවංසයේ සඳහන් මේ චරිත හා සිදුවීම දාමය පිළිබඳ ව සුපරික්ෂාකාරී වීමේ දී එකිනෙකට පරස්පර වූත්, අභව්‍ය වූත් සිදු වීම් ගනනාවක් දැකිය හැකි ය.
 
අදෘශ්‍යමාන වූ යක්ෂයින් මරා අනතුරු ව ඔවුන් ඇඳ සිටි රාජාභරණ විජය ඇතුළු පිරිස ඇඳ ගැනීම පරස්පර විරෝධී ක්‍රියාවකි. මන්ද යක්ෂයින් අදෘෂ්‍යමාන නම් ඔවුන් ඇඳ සිටි ඇඳුම් දෘෂ්‍යමාන වන්නේ කෙසේ ද? අනෙක් කරුණ ලක් දිව වාසී ‍යක්ෂයින් මිනී මස් බුදින මිලේච්ඡ ජාතියක් නම් නිරායුධ ව ප්‍රීති වෙමින් සිටි එම පිරිස වංචා සහගත ව ඝාතනය කොට ලේ තැවරුණු ඔවුන් ගේ ඇඳුම් ඇඳ ගත් විජය ඇතුළු පිරිස ඊටත් වඩා මිලේච්ඡ විය යුතු ය.
 
4. කුවේණිය විජය හා එක් ව දරුවන් ලැබීම
මහාවංස විස්තරය අනුව ලක්දිව පාලක යක්ෂයින් ඝාතනය කොට රාජ්‍යත්වය  පැහැරගත් විජය කුවේණිය සමග එකට වාසය කරමින් දරුවන් දෙදෙනෙකු ලබයි. මෙය ද සිංහයා සහ සුප්පාදේවි එක්ව දරුවන් ලැබූ අභව්‍ය සිදුවීම හා සමාන ම සිදුවීමකි, මන්ද මහාවංස විස්තරය අනුව කුවේණි යනු අමනුෂ්‍ය යක්ෂණියකි. මනුෂ්‍ය අමනුෂ්‍ය එක්වීමකින් දරුවන් බිහිකල නොහැකි යන්න ජීව විද්‍යාත්මක සත්‍ය‍යකි. 

මේ ආකාරයට මේ හෙළදීපයේ ආදි කාලයේ සිට විවිධ කර්මාන්ත කරමින් ශිෂ්ඨ සම්පන්න ව ජීවත් වුණු ජන  කොට්ඨාශ හෙවත් ගෝත්‍ර අතුරින් එකක් වන යක්ඛ ගෝත්‍රය මිනීමස් බුදින මිලේච්ඡ යක්ෂයින් කරමින්, දාමරිකකම්වලින්, දුෂ්ඨ ක්‍රියාවලින් ,අසම්මත දේවලින් සපිරි විජය කතා පුවතක් ගොතමින්, භාරතයෙන් ආනයනය කළ විජය නැමැත්තෙකුගෙන් මේ හෙළදිවේ ශිෂ්ට සම්පන්න මනුෂ්‍ය පරම්පරාවක් ඇතිවූයේ යැ යි පැවසීම සත්‍ය‍ය විකෘති කිරීමක් සේ ම මේ ප්‍රෞඩ ජාතියට සිදු කොට ඇති විශාල අසාධාරණයකි. 

මේ හෙළ ද්වීපයේ ශිෂ්ඨ මනුෂ්‍ය කොටඨාශයක් බිහිවූයේ වසර  2600කට පෙර දී විජයගෙන් නො වන බව වර්තමාන පුරාවිද්‍ය‍ත්මක සොයාගැනීම්වලින් තහවුරු වී ඇත. මීට වසර 50000කට පෙර දී පවා මේ දිවයින තුළ රෙදිපිළි පරිහරණය කළ ශිෂ්ඨ මනුෂ්‍යයින් ජීවත් වී ඇත.

ඩී චානක පීරිස්

Post a Comment

0 Comments