ජීවය පහළ වීම 02 - ස්වයංජාත ඇල් සහල් පහළ වෙයි

 ස්වයංජාත ඇල් සහල් පහළ වෙයි 


මෙසේ බොහෝ කාලයක් රස පොළොව අනුභව කරමින් සිටි බ්‍රහ්ම කල්පික ජීවින් අතර පැහැපත් භාවය සහ නොපැහැපත් භාවය ඇති විය. සියුම් සිරුර ක්‍රමයෙන් රළු විය. පැහැපත් වූ අය පැහැයෙන් අඩු අයට අවමන් කරන්නට විය. මෙ සේ ප්‍රකට වුණු මාන්නය නිසා රස පොළොව අතුරුදන් විය. 


අනතුරු ව පෙර මෙන් පැහැපත් සුවඳ වත් රසවත් භූමි පප්පටකය (බිම් පප්පඩම් - බිම් හතු විය හැකි ය) පහළ විය . ජීවිහු  ඒවා අනුභව කිරීමට පටන් ගත්හ. පෙර මෙන් තෘෂ්ණාව සහ මාන්නය ක්‍රමයෙන් වැඩි විය. ශරීරය තව තවත් රළු විය. ඇතැමෙක් පැහැපත් වූ අතර ඇතැමෙක් නොපැහැපත් වූ හ. නොපැහැපත් අයට පැහැපත් අය අවමන් කිරීම නිසා භූමි පප්පටකය ද අතුරුදන් විය. 

අනතුරු ව වර්ණවත් සුගන්දවත් මිහිරැති බදාලතා පහළ විය .ජීවිහු තවත් බොහෝ කාලයක් බදාලතා අනුභව කළ හ. තෘෂ්ණාව සහ මාන්නය තව තවත් අධික වීමෙන් එකිනෙකා කරෙහි ඇති කර ගත් පරිභව කිරීම් නිසා  බදා ලතා ද අතුරුදන් විය.
 
අනතුරු ව නොසෑ පොළොවෙහි  හට ගෙන පැහෙන කුඩු නැති, දහයියා නැති, සුවඳ වත්, රසවත් ඇල් හාල් පහළ විය. මේවා අනුභව කරමින් ජීවීහු බොහෝ කාලයක් සිටියහ. තව තවත් සිරුරෙහි  රළු බව ඇති විය. ලෝක විනාශයට පෙර පෘථීවි මිනිස්සුන් පුරුදු පුහුණු කළ ක්‍රියාවන්ට අනුකූල ව බ්‍රහ්ම  කල්පික ජීවීන් අතර ස්ත්‍රී පුරුෂ භාවය පහළ විය. ස්ත්‍රිය පුරුෂයා දෙසත්, පුරුෂයා ස්ත්‍රිය දෙසත් බොහෝ වේලාවක් බලා සිටීම නිසා ඔවුන්ට සරාගය පහළ විය. රාගය සිරුරෙහි බැස ගත්තේ ය. මේ නිසා ඇතැමෙක් ස්ත්‍රී පුරුෂ වශයෙන් එකට සිටීම ආරම්භ කළහ. බොහෝ අය මෙය අධම ක්‍රියාවක් ලෙස සැලකූහ. එහෙයින්  අන් අය ගෙන් වසන් වෙමින් මේ ක්‍රියාවන් හි යෙදීම සඳහා ගෘහ තනා ගන්නට විය . මේ ආකාරයට පියස්ස, ගෘහය සංකල්ප ජීවීන් තුළ පහළ විය .
_______________________________________________
මූලාශ්‍රය
අග්ගඤ්ඤ සූත්‍රය. දීඝ නිකාය -3. සූත්‍ර පිටකය

Post a Comment

0 Comments