ඔන්න බබෝ ඇතින්නියා
ගල් අරඹේ සිටින්නියා
ගලින් ගලට පනින්නියා
බඹුට බයේ දුවන්නියා
ඉහත කවිය අපි කවුරුත් හොඳින් අසා ඇති කවියක්. දරු නැළවිල්ලක් ලෙස භාවිත කෙරෙන මෙම කවිය අසා නැළවෙන දරුවා මෙහි අරුතක් නොදැන මව ගේ ලයාන්විත හඬ ම අසමින් නිදියයි. වර්තමානයේ දී දරුවා නළවන මව ද මෙහි සැබැ අරුත නොදනියි. ගැඹුරු අරුතක් සහිත අත්ථ කවියක් වශයෙන් බිහි වුණු මෙම කවිය වර්තමානයේ ශ්‍රැති කවියක් ලෙස භාවිතයේ ඇති අතර මතුපිටින් දිවෙන අරුත ම පමණක් දකිමින් භාවිත කරයි.
උපමා
බබෝ - භවයන් බොහෝ (භවයෙන් භවය උපාදානය කරගනිමින් සසරෙහි සැරිසැරීම
ඇතින්නියා - ඇති ව ඉන්නා
ගල් - දැඩි බව ( මමය මගේ ය කියන තැන ඉඳගෙන මමත්වයෙන් කටයුතු කරන)
අරඹ - සසර
ගලින් ගලට පැනීම - උපාදානය කරගත් අත්භවයකින් තවත් උපාදානය කරගත් අත්භවයකට යෑම
බඹු - උතුම් බව උසස් බව සංඛේත කරමින් බුදුන් වහන්සේ, බුදුන් වහන්සේ දේශනා කළ සද්ධර්මය
අර්ථය
රාග ද්වේශ මෝහාදී අකුසල් මූල නිසා භවයෙන් භවයට පටිසන්ධිවෙමින් බොහෝ භවයන් ඇති ව ඉන්නා, මම ය මගේ ය කියන තැන ඉඳගෙන මමත්වයෙන් කටයුතු කරන සත්ත්වයා රාග, ද්වේෂ, මෝහාදී අකුසල් සිත් සහිත ව ඒවා දැඩි ව අල්ලාගෙන ඒ අකුසල් සිත් සමග ම ජීවත් වෙයි. මේ නිසා ම භවයෙන් භවය උපාදානය කරගනිමින් සසරෙහි සැරිසරයි. මේ ආකාරයට කෙළවරක් නැති සසරේ භවයෙන් භවයට පනිමින් ගමන්කරන සත්ත්වයා බුදුන් වහන්සේ දෙසූ සද්ධර්මය ඇසූ කල සසරේ භයංකාර බව අවබෝධ කරගෙන තව දුරටත් ඒ උතුම් සද්ධර්මය හමුවේ තමා මෙතෙක් ආ සසර දිගු කරගන්නා මාර්ගයෙහි යා නොහැකි ව එයින් පැන දුවයි. එනම් සත්‍යය, යථාර්ථය වටහාගෙන සසර ගමන කෙටි කරගනියි
- ඩී චානක පීරිස්

0 Comments